බෞද්ධ කාන්තාව

බුද්ධ ධර්මයේ පරිහානියට හේතුව බෞද්ධ කාන්තාව යයි සමහරු කියනවා. අපිලු පන්සල්වලට යද්දී කොට සායවල් සහ තද ඇඳුම් අඳින්නේ. අපි විතරයිලු සිල් ගන්නවයි කියල ඕපා දුප කියවන්න පන්සලට යන්නේ. බෞද්ධ කාන්තාව තමයි හැම ප්‍රශ්නයකටම මුල.

මිනිසෙක් හොරකම් කරයි. ඔහු තම බිරිඳට ගහනවා. මත්පැන් බොනවා. ඔය හැම එකකටම දොස් කියන්නේ ඔහුව හොඳට හදන්න බැරිවෙච්ච ඔහුගේ අම්මටයි. බොහෝවිට ඒ බෞද්ධ කාන්තාවයි.

මෙතන කියන්න මට සීයට අගයන් නැහැ. හැබැයි ඉතින් මට පේන විදියට නම් පන්සිල් වලින් වැඩි ගණනක් පද කඩන්නේ පිරිමි. කවුද වැඩිපුරම සත්ත්වයන්ට හිංසා කරන්නේ? මරන්නේ? කවුද වැඩිපුරම හොරකම් කරන්නේ? එතකොට මත්පැන් බොන්නේ?

හැබැයි මොන දේ කරත්, මොන දේ නොකලත් අන්තිමට හැමෝම දොස් කියන්නේ ඔය බෞද්ධ කාන්තාවටයි.

ලඟදි බෞද්ධ කොඩි හදන හේමපාලට කතා කරද්දී, ඔහු කිව්වා බෞද්ධ කාන්තාව කොඩි හදන්නේ නැති නිසා ඔහු ක්‍රිස්තියානි කාන්තාවන්ට ඒ වැඩේ බාරදීල කියල. ඒක අහල තරහවක් ඇතිවුනාට මම මුකුත් කියන්න ගියේ නැහැ. හැබැයි තරහ හිතුනේ කොඩි හදන්නේ ක්‍රිස්තියානි කාන්තාවන් නිසා නොව, ඔහු කොඩි සැදීම බෞද්ධ කාන්තාවගේ යුතුකම යයි කියූ නිසාය.

ඔය කතාව කිව්වේ පිරිමියෙක්. ඔහු දැන් කොඩි හැදුවේ නැතත්, අතීතයේ කොඩි මහපු කෙනෙක්. ඔහු ව්‍යාපාරයක් නිසා හරි කොඩි හැදුවනේ. එහෙනම් ඔය ඉතුරු බෞද්ධ පිරිමින්ට ඇයි කොඩි මහන්න බැරි? ඇයි ඒ අයට ගුණ ධර්ම ගැන දරුවන්ට කියා දෙන්න බැරි?


පන්සලකට ගිහාම ගෑනු විතරද කොට ඇඳුම් අඳින්නේ? ඔය කොට කලිසම්, පාට පාට කමිස ඇඳන් ඉන්න පිරිමින්ට හාමුදුරුවන් මුකුත් කියන්නේ නැහැ. හාමුදුරුවන්ටත් පේන්නේ ගෑනුන්ගේ ඇද කුද විතරයි.

බෞද්ධ කාන්තාව යනු සිංහල බෞද්ධයා වැනි පදයකි. එයට හරි හැටි තේරුමක් නැහැ. රටේ ප්‍රශ්නවලට සිංහල බෞද්ධයාට වැරැද්ද පටවනව වගේ බෞද්ධ ධර්මයේ තියෙන ප්‍රශ්නවලට ලේසිම වෙන්නේ බෞද්ධ කාන්තාවට ඇඟිල්ල දිගු කිරීමයි.

හැබැයි ඉතින් කාන්තාවන්ට දොස් කියලා, ඔවුන්ට හිංසා කරලා, අන්තිමට පච්ච කොටා ගන්නවා 'අම්මා බුදු වේවා' කියලා. ගෑනුන්ට තනිව පාරක යන්න බැරි තත්වයක් උදා කරලා කියනවා ගෙදර බුදුන් අම්මා කියල.

Comments

Post a Comment

Popular posts from this blog

Availability, dating, love, etc.

Alone time

Learning to Let Go